HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත පර්යේෂණයක්! අනාගතයේ ඉතිරින් ඉතිරි වී පිරිමින් වඳ වී යාවිද?

ලෝකයේ සිදුවුණු අලුත්ම පර්යේෂණයකින් පිරිමින්ට තරු විසිවෙන කත‍ාවක් හෙළිදරවු වෙනවා. අනාගතයේ දී ස්ත්‍රීන් ඉතිරි වී පිරිමි සඳහටම ලොවෙන් තුරන් වී යන බවක් අලුත් ම අධ්‍යනයකින් කියැවෙනවා. ගැහැනු පිරිමි සහ ලිංගභේදය ගැනත්, මානව පරිණාමයේ අනාගතය කෙබඳු වේවිද යන්න ගැනත් පසුගිය දා ලොකු කතාබහක් ඇතිවිය. ඒ, මෙම නව අධ්‍යයනයක් මුල්කොට ගනිමිනි.

අනාගතයේ ‘වයි’ වර්ණදේහ ක්ෂය වී, සදහටම නැතිවී යෑමට ඉඩ ඇති බවය.

ඇමරිකාවේ හා ස්විට්සර්ලන්තයේ විද්‍යාඥ දෙපිරිසක් වසර දෙකක් තිස්සේ කළ පර්යේෂණ ඇසුරින් සිදු කළ එම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ, අනාගතයේ ‘වයි’ වර්ණදේහ ක්ෂය වී, සදහටම නැතිවී යෑමට ඉඩ ඇති බවය. එයින් අදහස් වන්නේ අනාගතයේ දිනෙක, මවු කුසේ දී කලලයක ගැහැනු සහ පිරිමි වෙනස තීරණය කරන ඒ ප්‍රධාන සාධකය අහිමි වී, පිරිමින්ගේ උපත නැත්තටම නැතීවී යෑමකි. 

ජීව විද්‍යානුකූලව, සරලව පැහැදිලි කළොත්, ගැහැනු පිරිමි වෙනසට හේතුව මේ ‘වයි’ වර්ණදේහයයි. මවු කුසේ, කලල අවස්ථාවේදී, මනුෂ්‍ය අප සියලු දෙනාගේ ආරම්භය සිදුවන්නේ ගැහැනුන් ලෙසය. එහෙත්, ‘වයි’ වර්ණදේහය එක් වෙද්දී, ලිංගිකත්වය තීරණය වෙයි. ‘වයි’ වර්ණදේහය ඇති නම් ඒ පිරිමින්ය. ඒ අනුව, ‘වයි’ වර්ණදේහය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, පසුගිය වසර මිලියන ගණන තිස්සේ මානවයන්ගේ ‘වයි’ වර්ණදේහය කෙමෙන් කෙමෙන් ක්ෂය වී යෑමට පටන් ගෙන ඇති බවය. එසේ ක්ෂය වී ගොස්, මතු දවසක ‘වයි’ වර්ණදේහය නැත්තටම නැති වී යනු ඇත. එයින් අදහස් වන්නේ කුමක්ද? ‘වයි’ වර්ණදේහය නැත්තටම නැතිවී ගිය පසු, ‘එක්ස්’ වර්ණදේහ පමණක් ඉතිරි වුවහොත්, උපත ලබන්නේ, ගැහැනුන් පමණි. එසේ නම්, අනාගතයේ ලෝකය සැබැවින්ම, පිරිමි නැති තැනක් වේවිද? එසේ වුවහොත් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම කෙසේ සිදුවේවිද? 

අනාගතයේ ලෝකය සැබැවින්ම, පිරිමි නැති තැනක් වේවිද?

‘පිරිමිකම’ තීරණය කරන, ‘වයි’ වර්ණදේහය සම්බන්ධයෙන් විද්‍යාඥයන් මේ වනවිට ඉතා වැදගත් පර්යේෂණ රැසක් සිදු කර ඇත. සරලව පැහැදිලි කළොත්, වර්ණදේහ යනු සෛලයක න්‍යෂ්ටියේ අන්තර්ගත වන ඩී.එන්.ඒ. අණු ඇතුළු දේවල්ය. සමහරුන්ට වර්ණ දේහ යුගල 23 කි. අම්මාගෙන් ලැබුණු කොටසක් සහ තාත්තාගෙන් ලැබුණු කොටසක් ලෙස ඒවා හැඳින්විය හැකිය. මේ වර්ණදේහ යුගල 23 න්, 22 ක් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුය. ලිංගිකත්වය තීරණය කරන්නේ අවසන් වර්ණදේහයයි. එය ‘එක්ස්’ සහ ‘වයි’ වෙයි. 

සාමාන්‍යයෙන් ජෛව විද්‍යාත්මකව කාන්තාවකට එක්ස් වර්ණදේහ දෙකකි. පිරිමියකුට ඇත්තේ ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහයන්ය. ‘වයි’ වර්ණදේහය, ප්‍රමාණයෙන් ‘එක්ස්’ වර්ණදේහයට වඩා කුඩාය. එහි අන්තර්ගත වන්නේ සක්‍රිය ජාන අතළොස්සකි. ඒත් ඈත අතීතයේදී මේ තත්වය වෙනස් වී තිබෙන්නට ඇතැයි විද්‍යාඥ විශ්වාස කරති. මානව මුතුන්මිත්තන්ගේ ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහ ප්‍රමාණයෙන් සමානව තිබෙන්න ඇතැයි ඔවුහු කියති. ඒ අනුව, ජානමය තොරතුරු සියල්ල එකිනෙකා අතරේ හුවමාරු කර ගැනීමට ඒවාට හැකියාව තිබෙන්නට ඇත. එසේ ජානමය තොරතුරු හුවමාරු කර ගැනීමෙන්, හානි කර ජානවල විකෘතිතාවලින් මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා වෙන්නට ඇත. 

කෙසේ නමුත්, කාලයත් සමඟ ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහ එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විය. එවිට, එකිනෙකා අතරේ ජානමය තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි තත්වයක් උදා විය. ‘වයි’ වර්ණදේහයට එකතු වුණු ජාන විකෘතිතා සහ ‘වයි’ වර්ණදේහයෙන් මැකී ගිය විකෘතිතා නිවැරදි කිරීමක් සිදු කළ නොහැකි විය. මේ නිසා ‘වයි’ වර්ණදේහය පරම්පරා මිලියන ගණනක් තිස්සේ වියැකී යෑමක් සිදුවිය. අද පිරිමින් තුළ ඇති ‘වයි’ වර්ණදේහය තුළ අන්තර්ගත වෙන්නේ, ක්‍රියාකාරී ජාන සියයට 3 ක් වැනි සුළු ප්‍රමාණයකි. ගතවුණු වසර මිලියන 25 ක කාලයේ, මේ අයුරින් ‘වයි’ වර්ණදේහ ක්ෂය වී ගියේ මනුෂ්‍ය වර්ගයාගෙන් පමණක් නොවේ. සත්ව විශේෂවල ද මෙවැනි තත්වයක් විද්‍යාමාන වූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 2014 වසරේ ජාන සම්බන්ධව පර්යේෂණ දෙකක් සිදුවිය. එක් පර්යේෂණයක් සිදුකළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (MIT) පර්යේෂකයන්ය. දෙවැනි පර්යේෂණය සිදු කළේ ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයන් පිරිසකි. ඔවුහු ක්ෂීරපායී ජීව විශේෂ 8 ක් 15 ක් අතර ගණනකගේ ‘වයි’ වර්ණදේහ පිළිබඳ පර්යේෂණ පැවැත්වූහ. ඇතැම් සතුන්ගේ ‘වයි’ වර්ණදේහය ක්ෂය වී අතුරුදන්ව ඇති බව ඒ අනුව පෙනී ගියේ ය. 

වර්ණදේහ සම්බන්ධයෙන් දිගින් දිගට ම පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් ඊට යොදා ගෙන ඇත්තේ ‘ස්පයිනි රැට්’ නම් මී විශේෂයකි. ජපානයේ අමාමි ඔෂිමාහි පමණක් හමුවන මේ අමාමි ස්පයිනි මී විශේෂය තුළ ‘වයි’ වර්ණදේහය නැත. ඒ සතුන් ‍යොදා ගෙන කළ අධ්‍යයනයෙන් මිනිස් වර්ගයාගේ අනාගතය කුමක් වේවිදැයි අනුමාන කිරීමට හැකිවී ඇත. අද මේ මීයා තුළ වයි වර්ණදේහය නැත්තටම නැතිවී ගොස් ය. එසේ වුවත්, පරිණාමය වෙද්දී, සිය වර්ගයා බෝ කිරීමට හැකි වන සේ මේ මීයා වෙනස් වී නව විශේෂයක් බවට පත් වී ඇත. ඕස්ට්‍රේලියාවට ආවේණික බිත්තර දමන ක්ෂීරපායී සත්වයකු වන ප්ලැටිපස් ද එසේ වර්ණ දේහ වෙනස් වීමෙන් පරිණාමය වූ ජීවියෙකි. මේ ආකාරයට අනාගතයේ මනුෂ්‍යයන් අතරින් ද නව විශේෂයක් බිහිවනු ඇත. ඒ, වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මුල්කොට ගනිමිනි. ඇතැම් විට, අනාගතයේ මනුෂ්‍ය විශේෂ කීපයක් බිහිවනු ඇත. එකිනෙකට වෙනස් එම විශේෂ ලෝකයේ තැනින් තැන ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවනු ඇත. 

-  ලුසිත ජයමාන්න 

    එන්.ඩී.ටීවී. ඇසුරිනි

Post a Comment

1 Comments

  1. මේක කියවද්දි විදුසර මතක් වුනා...

    ReplyDelete